සමාජ රැකවරණ ක්ෂේත්රය පිළිබඳ දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක්
සමාජ රැකවරණ ක්ෂේත්රය පිළිබඳ දස අවුරුදු (2026 – 2035) ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි තාක්ෂණික කරුණු සාකච්ඡා කිරීම සඳහා වූ හමුවක් පසුගියදා ( 2026.08.31) කොළඹ Cinnamon Lakeside හෝටලයේදී පැවැත්විණි. කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී සමාජ රැකවරණ ක්ෂේත්රය පිළිබඳ තාක්ෂණික කරුණු රැසක් සාකච්ඡා කෙරිණි.
ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියට සහ උපායමාර්ගයට අනුකූලව, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) තාක්ෂණික සහයෝගය ඇතිව “සමාජ රැකවරණ ක්ෂේත්රය පිළිබඳ දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි (2026-2035)” කටයුතු මේ වන විට සාර්ථකව අවසන් කර ඇත. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ කම්කරු අමාත්‍යාංශය යන අමාත්‍යාංශ තුනෙහි මූලිකත්වයෙන් සකස් කරන ලද එම සැලැස්ම මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමේ අවසාන අදියරට යොමු කර ඇත.
මෙම ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රධාන අරමුණ වන්නේ මෙතෙක් නිසි ඇගයීමකට ලක්නොවූ, නිවෙස් තුළ සිදුවන වැටුප් නොලබන සත්කාර සේවාවන් හඳුනාගෙන ඒවා රටේ විධිමත් ආර්ථික ක්ෂේත්රයක් බවට පරිවර්තනය කිරීමයි. එමෙන්ම, රැකවරණ ක්ෂේත්රයේ නියුතු සේවකයන්ට ජාතික වෘත්තීය නිපුණතා (NVQ) සහතිකකරණය හා දායකත්ව සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් ලබා දීමටත්, මෙරට 18%ක් වන වැඩිහිටි ජනගහනයට සහ 3.7%ක් වන දැඩි ආබාධිත තත්ත්වයන් සහිත පුද්ගලයන්ට අවශ්‍ය විශේෂිත රැකවරණ සේවා තහවුරු කිරීමටත් මෙමඟින් පියවර ගැනේ. මීට අමතරව, සත්කාරක බර අවම කිරීම සහ බෙදාහදාගැනීම තුලින් දැනට 32.3% වැනි පහළ මට්ටමක පවතින කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීමට අවශ්‍ය සහායක රාමුව ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා සක්‍රීයව ස්ථාපිත කිරීම මෙහි මූලික අපේක්ෂාවයි.
සමාජ රැකවරණ ක්ෂේත්රය පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මට අදාලව මෙම හමුවේදී තාක්ෂණික ඉදිරිපත් කිරීම් කරන ලද්දේ මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ( මානව සම්පත් කළමනාකරණ) චම්පිකා ශිරෝමාලී, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අධ්යක්ෂ (සමාජ ආරක්ෂණ) වාසනා ගුණරත්න,කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ අධ්යක්ෂ (සැලසුම් සහ මෙහෙයුම්) කේ.පී.සී.සුභාෂිනී සහ තෘතීයික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ( NVQ Division) ආචාර්ය දිල්රුක්ෂි හේරත් යන මහත්මීන් විසිනි.
මෙම හමුවට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිත ජොනී සිම්ප්සන් මහත්මිය ඇතුළු ක්ෂේත්රයට අදාල විශාල පිරිසක් එක්ව සිටියහ.





