කම්කරු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ ( NIOSH) විෂය පථයන්ට අදාළ පාඨමාලා හදාරන සිසුන් වැඩිදුර අධ්‍යාපන සඳහා දකුණු කොරියාවේ චැංෂිං විශ්වවිද්‍යාලය (Changshin University ) වෙත යොමු කිරීම සඳහා වන වැඩසටහනක් ආරම්භ කර ඇත. ඒ අනුව, ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ ( NIOSH) නිලධාරීන් සහ එම විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් පසුගියදා කම්කරු අමාත්‍යංශයේදී පැවැත්විණි.
චැංෂිං විශ්වවිද්‍යාලය ( Changshin University ) පසුගිය වසරේදී මෙරට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක් ලෙස නම් කර ඇත.
මෙම වැඩසටහන යටතේ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ ( NIOSH) ඉගෙනුම ලබන සිසුන්ට චැංෂිං විශ්වවිද්‍යාලයේදී ඉතා සහනදායි ගාස්තුවකට යටත්ව උපාධි මට්ටම දක්වා උසස් අධ්‍යාපන ලබා ගත හැකි වනඅතර අධ්‍යාපනය ලබන අතරතුර අර්ධකාලීන රැකියාවක් කිරීමේ අවස්ථාවද හිමිවනු ඇත. මූලිකව පාඨමාලා ගාස්තුවෙන් 50%ක් පමණක් සිසුන් ගෙවිය යුතු අතර ඉගෙනුම් කටයුතු සඳහා දක්ෂතා දක්වන සිසුන්ට,ගෙවිය යුතු පාඨමාලා ගාස්තුව 100% දක්වා නිදහස් කර ගැනීමට හැකියාව ලැබීමද මෙම වැඩසටහනේ විශේෂත්වයකි. උපාධිය සම්පූර්ණ කරන සිසුන්ට දකුණු කොරියාවේ ස්ථිර රැකියා ලබා ගැනීමට ද අවස්ථාව පවතී.
දෙරට අතර මෙම වැඩසටහන පුළුල් කරමින් වැඩි සිසුන් පිරිසක් පාඨමාලාව සඳහා බඳවා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී දෙපාර්ශවයේම නියෝජිතයෝ ගැඹුරින් අවධානය යොමු කළහ.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රජයක් ලෙස මැදිහත් වී පුළුල් වපසරියක් තුළ උපරිමයෙන් කටයුතු කරන බව මෙම හමුවට එක්වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය. වැඩිදුරටත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වෘත්තීයවේදීන් වැඩි වශයෙන් නිර්මාණය කිරීම මෙන්ම ඔවුන්ට දේශීය ශ්‍රම වෙළඳපොළතුළ පමණක් නොව විදේශීය ශ්‍රම වෙළඳපොළ තුළද වැඩි අවස්ථාවක් ලබාදීම රජයේ අපේක්ෂාව බව ය.
මෙම වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් එය ඉදිරි මාසයක කාලය තුළ සිදු කිරීමටත් මෙම හමුවේදී එකඟත්වය පළ විය.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ජයලත් යන මහත්වරුන් ද දකුණු කොරියාවේ චැංෂිං විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් මෙන්ම එහි අධ්‍යාපනය ලබා උපාධිය දිනා ගත් සිසුන් පිරිසක්ද එක්ව සිටියහ.









