පුවත් සහ සිදුවීම්

කම්කරු අමාත්‍යාංශයෙන් මෙම මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා දිවයින පුරා ජංගම සේවාවක්… සමාරම්භය යාපනයේදී….

කම්කරු අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වලින් සැලසෙන සේවාවන් ලබා දීමේ අරමුණින් සංවිධානය කෙරෙන ජංගම සේවයක් මෙම මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් හා උප කම්කරු කාර්‌යාල වලදී පැවැත්වෙයි.
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු වූවන්ට ඔවුන්ගේ සේවක අර්ථ සාධක අරමුදල් ගිණුමේ තොරතුරු සහ ශේෂය පරීක්ෂා කිරීම, නිවැරදි නොවන සාමාජික ගිණුම් තොරතුරු ජාතික හැඳුනුම්පතට අනුව නිවැරදි කර ගැනීම, සාමාජිකයන් ලියාපදිංචි කිරීම, පැමිණිලි භාර ගැනීම සහ කම්කරු නීති සම්බන්ධ උපදෙස් ලබා ගැනීමට මෙම ජංගම සේවාවේදී අවස්ථාව ලබා දී ඇත. මෙම සේවාවන් ලබා ගැනීමට පැමිණීමේදී අදාල පුද්ගලයින් ඔවුන්ගේ ජාතික හැඳනුම්පත ද, දැනට සේවක අර්ථ සාධක අරමුදලේ ලියාපදිංචි වී ඇත්නම් බී කාඩ්පත ද, සංශෝධන සිදු කර ගැනීමට අවශ්‍ය අය සේවා යෝජකයාගෙන් ලබාගත් ලිපිය ද රැගෙන මෙම මස 22 වැනිදා සිට 26 වැනිදා දක්වා අදාල කම්කරු කාර්යාල වෙත පැමිණෙන ලෙස කම්කරු දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
මෙම ජංගම සේවාවෙහි සමාරම්භක උත්සවය කම්කරු නියොජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 22 වැනිදා යාපනය දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේදී පැවැත්වීමට සැලසුම් තර ඇත.
මෙදින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්‌මේන්තුව විසින් පවත්වනු ලබන රැකියා පොළ වැඩසටහනක්, දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා සහ ආයතනවලින් තෝරාගත් සේවක සේවිකාවන් පිරිසක් සඳහා ශ්‍රම වාසනා අරමුදල විසින් පවත්වනු ලබන වෛද්‍ය සායනයක් සහ යාපනය වෛදීෂ්වරන් විද්‍යාලයේදී ලෝක ළමා දින සැමරුම නිමිති කරගෙන ළමා ශ්‍රමය පිටු දැකීම පිළිබඳව වැඩසටහනක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එසේම, ජාතික වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය ආයතනය විසින් යාපනය පලෙයි ප්‍රදේශයේදී තල් ඉරටු ආශ්‍රිතකර්මාන්ත ක්‍ෂේත්‍රයේ සිදුවිය හැකි අනතුරු වලින් වැළකී එම කර්මාන්තවල නියැලීම පිළිබඳව මෙන්ම යාපනය කාර්මික විද්‍යාලයේදී එහි සිසුන් සඳහා වෘත්තීය අනතුරු වලින් සහ වෘත්තීය රෝග වලින් තොරව රැකියාවල නිරත වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද සංවිධානය කර ඇත.

Leave a Reply