පුවත් සහ සිදුවීම්

ශ්‍රී ලංකාවේ අන්තර් අමාත්‍යාංශ සමාජ සුරැකුම් වැඩ කණ්ඩායම (Sri Lanka’s Inter-Ministerial Social Care Working group) ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණික සහාය ද ඇතිව පෙරදැක්මක් (Roadmap) සහ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම අරඹයි.

2025 ඔක්තෝබර් 29, කොළඹ – ශ්‍රී ලංකාවේ සුරැකුම් ආර්ථිකයේ (Care Economy) ආයෝජනය කිරීමේ අවශ්‍යතාවය අන් කවරදාකටත් වඩා ඉස්මතු වී ඇත.

පවුල්, සේවකයින් සහ ප්‍රජාවන්ට සහාය වන ශක්තිමත්, සාධාරණ සුරැකුම් පද්ධතියක් (Care system) ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාව මූලික පියවර ගෙන තිබේ. 2040 වසර වන විට ශ්‍රී ලාංකිකයන්ගෙන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 60 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, ගුණාත්මක සාත්තුසත්කාර සේවා සඳහා ඇති ඉල්ලුම සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. එක් අතකින්, වැටුප් ද නොලබා වැඩි වශයෙන් සාත්තු සේවා කටයුතුවල නිරතවන  කාන්තාවෝ, වෘත්තියක් වශයෙන් එය ගොඩනගාගැනීම උදෙසා ශ්‍රම  බලකායට ඇතුළුවීම, එහි රැඳී සිටීම සහ ඉදිරියට යාමේදී බොහෝ අභියෝගවලට මුහුණ දෙති. අනෙක් අතට, වැටුප් නොගෙවන සත්කාර සේවා බොහෝ විට සමාජයේ අවධානයට ලක් නොවී අවතක්සේරු කරනු ලැබුව ද, එය ආර්ථිකයට සහ සමාජයට දක්වන මහඟු දායකත්වයක්  හඳුනා ගැනීම වැදගත්ය. සමාජ යහපැවැත්ම වැඩිදියුණු කිරීම, ආර්ථික වර්ධනයට දායක වීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීමෙහිලා  සුරැකුම් ආර්ථිකයේ (Care Economy)  අතිමහත් දායකත්වය, එහි ආයෝජනය කිරීමේ අවශ්‍යතාව අන් කවරදාකටත් වඩා ඉස්මතු කරයි.

2025 සැප්තැම්බර් මාසයේදී ජාතික සමාජ ආරක්ෂණ උපාය මාර්ගය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් අනතුරුව, රජය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සමඟ එක්ව, 2025 ඔක්තෝබර් 29 වන දින ජාත්‍යන්තර සුරැකුම් සහ සහාය දිනය (International Day of Care and Support) සනිටුහන් කරමින් සුරැකුම් (Care) පිළිබඳ පෙරදැක්මක් සහ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ගොඩනැගීම ආරම්භ කර ඇත.

මෙම වැඩසටහන හරහා සුරැකුම් සපයන්නන්(Care Providers) සහ රැකවරණය ලබන්නන් (Care Recipients)  යන දෙපිරිස කෙරෙහිම අවධානය යොමු කරන අතර, සුරැකුම්  සපයන්නන්ට සුනිසි මෙහෙවර සඳහා ප්‍රවේශය ඇති බවත්, රැකවරණය ලබන අයට ගුණාත්මක, විශ්වාසදායක සහ දැරිය හැකි මිලකට සේවාවන් සඳහා ප්‍රවේශය ඇති බවත් සහතික කරයි.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සහ කම්කරු අමාත්‍යාංශය එක්ව සම-සභාපතිත්වය දරන අන්තර් අමාත්‍යාංශ සමාජ සුරැකුම් වැඩ කණ්ඩායමට( Inter-Ministerial Social Care Working group), මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය,වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලනය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වැනි ප්‍රධාන රේඛීය අමාත්‍යාංශවල නියෝජිතයින් ඇතුළත් වේ.

කම්කරු විෂයභාර නියෝජ්‍ය අමාත්‍ය ගරු මහින්ද ජයසිංහ මහතා, සුරැකුම් අංශය තුළ සුනිසි මෙහෙවර ප්‍රවර්ධනය කිරීමෙහිලා රජයේ නොපසුබස්නා කැපවීම මෙහිදී ප්‍රකාශ කළේය. එසේම, සුරැකුම් යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ සුරැකුම් කටයුතු ඇගයුම් සහ සහාය ක්‍රියාවලියේ  වෙනසක් ඇති කිරීම සඳහා නිවැරදි නීතිමය සහ ප්‍රතිපත්තිමය රාමු ස්ථාපිත කිරීම පිණිස  අමාත්‍යාංශය ඇප කැපවී සිටින බව අමාත්‍යාංශ ලේකම් එස්.එම්. පියතිස්ස මහතා නැවත තහවුරු කළේය.

 

 

ළමා  හා කාන්තා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය වැටුප් සහිත සහ වැටුප් රහිත සුරැකුම්  කටයුතු යන දෙකම හඳුනා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාවේ වෙනස් වන ජනවිකාස පැතිකඩත් සමඟ සුරැකුම් වගකීම් වැඩි වැඩියෙන් කාන්තාවන් මත පැටවෙන බව සඳහන් කළාය. උසස් තත්ත්වයේ සුරැකුම් සේවා දැරිය හැකි මිලකට ලබාගැනීම සහ සැමට ප්‍රවේශ විය හැකි ආකාරයට සහතික කිරීමේ අවශ්‍යතාවය ඇය අවධාරණය කළාය.

මෙම අවස්ථාව අමතමින්, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට අධ්‍යක්ෂිකා ජොනී සිම්ප්සන් මහත්මිය,  සුරැකුම්  ආර්ථිකය සමාජ යහපැවැත්මේ මූලික පාදම බවත්, ආර්ථික වර්ධනයේ සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ ධාවකයක් බවත්, පැවසූ  අතර මෙම වෑයම සඳහා සහාය දැක්වීම කෙරෙහි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කැපවීම ප්‍රකාශ කර සිටියාය. සුනිසි සුරැකුම් මෙහෙවර සඳහා වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙහි 5R රාමුව – එනම්, හඳුනා ගැනීම (Recognize), අවම කිරීම (Reduce), නැවත බෙදා හැරීම (Redistribute), ප්‍රතිලාභ ලබා දීම (Reward) සහ නියෝජනය කිරීම (Represent),  මගින් මෙහෙයවනු ලබන මෙම ක්‍රියාවලිය, සුරැකුම් කාර්යය  හඳුනා ගැනීම, ප්‍රතිලාභ ලබා දීම සහ ඇතුළත්බව සහ තිරසාර ප්‍රතිපත්ති හරහා සහාය ලබා දීම සහතික කරනු ඇතැයි ඇය ප්‍රකාශ කළේය.

ත්‍රෛපාර්ශ්වික ගණුදෙනුකරුවන්, අමාත්‍යාංශ, සමාජ හවුල්කරුවන්, සුරැකුම් සපයන්නන් සහ මහජනතාවගෙන් අදහස් ලබා ගනිමින්, සාක්ෂි මත පදනම් වූ ප්‍රවේශයක් සහ සැලැස්ම ගොඩනැගීමට අවශ්‍යය යහ භාවිතයන්(good practices ) සමඟ බැඳුනු  පුළුල් උපදේශන ක්‍රියාවලියක් සමඟ උක්ත කණ්ඩායම (Working group) ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරනු ඇත. සුරැකුම් පිළිබඳ පෙරදැක්ම සහ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2026 වසරේදී අවසන් කර දියත් කිරීමට අපේක්ෂා කෙරේ.

Leave a Reply