කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රම වාසනා අරමුදල විසින් සංවිධානය කරන ලද ශ්‍රම වාසනා ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයක් ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ගරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (12) නාරාහේන්පිට – මෙහෙවර පියෙස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ශ්‍රම වාසනා අරමුදල විසින් මෙම වසරේ මේ වන විට සිසු දරුදැරියන් 49 දෙනෙකු වෙත ශිෂ්‍යත්ව ලබාදී ඇති අතර මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය යටතේ තවත් සිසු දරු දැරියන් 23 දෙනෙකු වෙත මූල්‍යමය ප්‍රතිලාභ ලබාදීම සිදුකෙරිණි. මෙහිදී එම සිසු දරුදැරියන් සඳහා රුපියල් හැත්තෑපන් දහසක (75,000.00) වටිනාකමකින් යුත් ඉතුරුම් තැන්පතුව බැගින් ඉතුරුම් තැම්පතු 23 ක් ලබාදෙන ලදි. එහිදී, අදාල ශිෂ්‍යත්වලාභියාට අවුරුදු 18 සම්පූර්ණ වී නොමැති නම්, එක් වසරකට රුපියල් 15,000.00 බැගින් වන ලෙස අභිමත වර්ෂ 05ක් තුළ එම ශිෂ්‍යත්ව මුදල ආපසු ලබාගත හැකි බව ශ්‍රම වාසනා අරමුදල සඳහන් කළේය. ශිෂ්‍යත්වලාභියාට අවුරුදු 18 සම්පූර්ණ වී ඇත්නම් මුළු මුදල එකවර ලබා ගත හැකි බවද එම අරමුදල පෙන්වා දුන්නේය. මෙම ප්‍රදානය මගින් ශිෂ්‍යත්වලාභියාගේ ඉදිරි අධ්‍යාපන දිවිය සාර්ථක කිරීම ශ්‍රම වාසනා අරමුදලේ බලාපොරොත්තුව බව ද එම අරමුදල වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් ශ්‍රම වාසනා අරමුදල විසින් රුපියල් මිලියන 1.8 ක පමණ මුදලක් වැය කර ඇත. මෙවැනි කාර්යයන් තුලින් විශේෂයෙන්ම කම්කරු පවුල් නඟා සිටුවීමටත් ඔවුන්ට තම තමන්ගේ ජීවනෝපාය කරගෙන යාමටත් දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමටත් අවශ්‍ය පිටුබලය ලබාදෙයි.
ශ්‍රම වාසනා අරමුදල විසින් “ව්‍යසන අවස්ථා වලදී සේවා නියුක්තිකයන්ට හෝ ඔවුන්ගෙන් යැපෙන්නන්ට මූල්‍යමය හා වෙනත් පහසුකම් සැපයීම” යන අරමුණ යටතේ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, කර්මාන්තශාලාවක හෝ වැඩබිමක සේවය කරමින් සිටියදි වෘත්තීය අනතුරකට ගොදුරුව මව හෝ පියා මියගිය හෝ පූර්ණ ආබාධිත තත්වයට පත්වූවන්ගේ පවුල්වල දූ දරුවන් 23 දෙනෙකු වෙත මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි.
මෙරට කර්මාන්තශාලා හා වැඩබිම් තුළ මරණීය හා මරණීය නොවන අනතුරු 1600 ත් 2000 ත් අතර ප්‍රමාණයක් වාර්ෂිකව වාර්තා වන අතර මේ අතරින් සේවයේ යෙදී සිටියදී සිදුවන විවිධ ආකාරයේ අනතුරු වලින් මරණයට පත් වීම් හා පූර්ණ ආබාධිත තත්වයට පත්වීම් 100 ත් 140 ත් අතර ප්‍රමාණයක් ශ්‍රම වාසනා අරමුදල වෙත වාර්තා වෙයි. ඒ අනුව, සෑම වසරකම එවැනි අයගේ පවුල්වල දු දරුවන් 100 කට අධික ප්‍රමාණයක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදෙන අතර එම අරමුදල ආරම්භ කළ දා සිට මේ දක්වා 2,000 කට අධික දු දරුවන් ප්‍රමාණයකට ශ්‍රම වාසනා ශිෂ්‍යත්ව පිරිනමා ඇත.