වසරකට වැඩබිම්වල සිදුවන මාරාන්තික නොවන වෘත්තීය අනතුරු සංඛ්‍යාව දෙදහසක් පමණ වෙනවා. – කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ
වසරකට වැඩබිම්වල සිදුවන මාරාන්තික නොවන වෘත්තීය අනතුරු සංඛ්‍යාව දෙදහසක් පමණ වන බවත්,මාරාන්තික වෘත්තීය අනතුරු සංඛ්‍යාව හැටත් අසූවත් අතර අගයක් ගන්නා බවත් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාඇල – ඒකල පැවැති වැඩසටහනකට එක් වෙමිනි.
රජය විසින් ක්‍රියාත්තමක කරනු ලබන Clean Sri Lanka වැඩසටහනට සමගාමීව, සෑම වැඩ බිමක් තුළම යහපත් වැඩ පරිසරයක් නිර්මාණය කිරීම සඳහා “සැමට සුරක්ෂාව” (Safety for All) මැයෙන්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා ඉලක්ක කරගෙන කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති කම්කරු දෙපාර්තමේන්තුව,ශ්‍රම වාසනා අරමුදල සහ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය විසින් එක්ව සාංවිධානය කරනු ලබන දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩසටහන ලෙස මෙම වැඩසටහන ජාඇල – ඒකල, නර්ඩ් (NERD) ආයතන පරිශ්‍රයේදී ඊයේ (14) පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.
යහපත් වැඩ පරිසරයක් නිර්මාණය කිරීම වත්මන් රජයේ අරමුණයි. ඒ නිසා තමයි මේ “සැමට සුරක්ෂාව” (Safety for all) වැඩසටහන දිවයින පුරාම ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙන්නෙ. අද මේ පැවැත්වෙන්නෙ ඒ වැඩසටහන් මාලාවේ පළමුවැනි වැඩසටහනයි. වෘත්තීය සුරක්ෂිතතාව නැතිකම නිසා සිදුවන අනතුරු වලින් ජීවිතවලට ඇතිකරන බලපෑම ආර්ථිකයට විතරක් නෙමෙයි සමාජයටත් ප්‍රශ්ණ රැසක් මතු කරනවා. ඒ නිසා වෘත්තීය සුරක්ෂිතතාව ඇතිකිරීමට ගතහැකි සෑම සාධනීය ක්‍රියාමාර්ගයක්ම ගැනීමට අපි කටයුතු කරනවා.
මෙම වැඩසටහනේදී, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා සේවකයන්ගේ රෝග හඳුනා ගැනීමේ වෛද්‍ය කඳවුරක්,කර්මාන්තශාලා සේවකයන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්,වෘත්තීය පුහුණුව ලබන සිසු සිසුවියන් සඳහා වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ කර්මාන්ත ශාලා සේවකයන් සඳහා ප්‍රථමාධාර පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර තිබුණි.
පෙරවරු 09 ට වැඩසටහන ආරම්භ කෙරුණු අතර කම්කරු අමාත්‍යාංශය පෙන්වා දුන්නේ වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය පිළිබඳ ප්‍රවර්ධන ක්‍රියාමාර්ග තුළින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සමාජ කතිකාවක් ඇති කොට ඒ හරහා රට තුළ ක්‍රියාත්මක සෑම වැඩ බිමකම සුරක්ෂිතතා සංස්කෘතියක් ඇති කිරීම වත්මන් රජයේ අරමුණ බවයි.
මෙම වැඩසටහන සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස,කම්කරු කොමසාරිස් ජනරාල් අශෝක ජයසුන්දර, ජාතික වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ඊ. අබේසිරිවර්ධන සහ ශ්‍රම වාසනා අරමුදලේ සාමාන්‍යාධිකාරී ඩී.ආර්.ජයලත් යන මහත්වරුද එක්ව සිටියහ.