නව වසර සදහා රාජකාරි ආරම්භ කිරීම
ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමේදී රාජ්‍ය සේවකයන්ට අති විශාල වගකීමක් පැවරෙන බව කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස මහතා පැවසීය. ලේකම්වරයා මේ බව කියා සිටියේ නව වසර සදහා රාජකාරි ආරම්භ කිරීම නිමිත්තෙන් කම්කරු අමාත්‍යාංශයේ සහ ඊට අයත් ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (01) පෙරවරුවේ නාරාහේන්පිට – මෙහෙවර පියෙස පරිශ්‍රයෙහි පැවැති උත්සවය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා මෙසේද පැවැසීය.
2025 වර්ෂය කියල කියන්නෙ රටේ ජනතාව විසින් නව ජනවරමකින් අනුමත කළ නව ප්‍රතිපත්ති ප්‍රකාශයක් අනුව ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන වර්ෂයේ ආරම්භයයි. මෙරට ජනතාව පසුගිය කාලයේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. දැවැන්ත ආර්ථික අර්බුදයක් රට තුළ ඇති උනා. ඒ ඇතිවූ ආර්ථික අර්බුදයට මුහුණ දීමට හැකි වූයේ මේ රටේ ජනතාව කළ දැවැන්ත කැප කිරීම් නිසායි. ඔවුන් තමන්ගෙ පරිභෝජනය දැවැන්ත විදිහට අඩු කරගෙන තමයි ඒ ආර්ථික අර්බුදයට මුහුණ දුන්නෙ. ඊට පස්සෙ තමයි ජනතාව කල්පනා කළේ රට නව දේශපාලන සංස්කෘතියකට, නව සමාජ සංස්කෘතියකට පරිවර්තනය කළ යුතුයි කියල. ඒ අනුව තමයි නව ආණ්ඩුවක් බලයට පත් උනේ. ඒ නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව එළැඹෙන පළවෙනි නව වසරයි මේ. ඒ නිසා රාජ්‍ය සේවකයන් විදිහට අපට සුවිශේෂී යුතුකමක් හා වගකීමක් තියෙනවා මේ රටේ ජනතාව විසින් අනුමත කරන ලද නව ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රාජකාරී කිරීමට. මිනිස්සු අති විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් රජය කෙරෙහි එනම් රාජ්‍ය සේවකයන් වන ඔබ කෙරෙහි තබා තිබෙනවා.
විශේෂයෙන්ම කම්කරු අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතනවලට මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සහ සුබසාධනය සම්බන්ධයෙන් සුවිශේෂී කාර්යභාරයක් පැවරී තිබෙනවා. අති මහත් ශ්‍රම බලකායක් ඔබෙන් මහජන සේවාවන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා රාජ්‍ය සේවකයන් විදිහට රාජකාරී ඉටු කිරීම දැඩි අභියෝගකාරී එකක් වන බව අපි මතක තබා ගත යුතුයි. රට ආර්ථික වශයෙන් අර්බුදකාරී තැනක තිබෙන නිසා අප සතුව ප්‍රමාණවත් සම්පත් නැහැ. ඒ බව තේරුම් අරගෙන අපි සියලු දෙනා වැඩ කරමුයි කියන ඉල්ලීමත් කරමින් සියලු දෙනාටම 2025 වර්ෂය සුබම සුබ නව වසරක් වේවායි කියල මම ප්‍රාර්ථනා කරනවා.
කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන් නව වසරේ මෙම රාජකාරි ආරම්භ කිරීමේ වැඩසටහනට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති Clean Sri Lanka වැඩසටහනට සහභාගී වී සිටි බැවින් ඒ මහත්වරුන්ගේ සුභ පැතුම් ද ලේකම්වරයා විසින් මෙහිදී ඉදිරිපත් කරනු ලැබිණ.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලාල් සමරසේකර, කම්කරු කොමසාරිස් ජනරාල් අශෝක ජයසුන්දර, මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කේ.ජී.එච්.එච්.ආර්.කිරිඇල්ල, කම්කරු වන්දි කෙමසාරිස් අනුෂා මුතුකුමාරණ, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩී.සුරංග ගුණරත්න, ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ අධ්යක්ෂ ජනරාල් චම්පිකා අමරසිංහ සහ ශ්‍රම වාසනා අරමුදලේ සාමාන්‍යාධිකාරී ඩී.ආර්.ජයලත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් එක්ව සිටියහ.