කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිත Joni Simpson මහත්මියගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට – කම්කරු මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලෙහි පිහිටි කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පසුගියදා (11) පෙරවරුවේ දී පැවැත්විණි.
“ලිය අභිමානී – 2026” මැයෙන් සංවිධානය කෙරුණු මෙම උත්සවයේ මෙවර තේමාව වූයේ “අයිතිවාසිකම්, යුක්තිය සහ ක්‍රියාමාර්ග තුළින් වැඩ කරන බලගතු කාන්තාවන් මගින් සමෘද්ධිමත් දැයක් ගොඩනැගීමට දිරි දීම” යන්නයි. පෞද්ගලික අංශයේ ආයතන රැසක් නියෝජනය කරමින් කාන්තාවන් විශාල ප්‍රමාණයක් උත්සවයට පැමිණ සිටියහ.
සංස්කෘතිකාංග රැසකින් වර්ණවත් වූ මෙම උත්සවයේදී කාන්තාවන් ලෙස බාධක බිඳ ඉදිරියට යාම පිළිබඳ අභිප්‍රේරණ දේශණයක්,කාන්තාවන්ගේ ප්‍රසූතිකාධාර සහ නීති රැකවරණ පිළිබඳ දේශණයක් සහ ශ්‍රම වෙළෙඳපොළ තුළ කාන්තාවන් මුහුණ දෙන බාධක සහ ඔවුන්ට ඇති අවස්ථා පිළිබඳ සංවාද මණ්ඩපයක් ද පැවැත්විණි.
මෙම උත්සව අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස සහ කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ කාන්තා වෘත්තීය සමිති නියෝජිතවරියන් රැසක් ද එක්ව සිටියහ.