කම්කරු අමාත්‍යවරයා වැඩ බාරගත් අවස්ථාව
ආර්ථික ක්‍රියාවලියේදී ශ්‍රම බලකාය ඇතුළෙ ඇමතිවරයා විදිහට මමත් ශ්‍රමිකයෙක්.
- වැඩ බාර ගනිමින් කම්කරු ඇමති පවසයි.
සැබෑ අර්ථයෙන්ම ආර්ථික ක්‍රියාවලියේදී ශ්‍රම බලකාය තුළ අමාත්‍යවරයා ලෙස තමා ද අන් අය මෙන්ම තවත් එක් ශ්‍රමිකයකු පමණක් බවත්, සෑම අයෙකුම ඒ බව තේරුම් ගෙන කටයුතු කිරීම මගින් ශක්තිමත් ඵලදායී ශ්‍රම බලකායක් පිළිබඳව වන රජයේ අපේක්ෂාව ඉටුකර ගත හැකි බවත් නව කම්කරු අමාතයවරයා ලෙස පත්වූ මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ නාරාහේන්පිට – “මෙහෙවර පියෙස” ගොඩනැගිල්ලෙහි පිහිටි කම්කරු අමාත්‍යාංශයේදී වැඩ බාරගැනීමේ අවස්ථාවට එක්ව සිටි අමාත්‍යාංශයේ සහ ඊට අයත් ආයතනවල නිලධාරීන් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“වත්මන් ආණ්ඩුවට ලැබී ඇති ජනවරම විශේෂ ජනවරමක්. ඒක අපි හැමෝම තේරුම් ගත යුතුයි. ආණ්ඩුව විදිහට අපිට අවශ්‍ය කරන්නෙ ජනතාව විසින් ඒ සුවිශේෂී ජනවරම මගින් අනුමත කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සඳහන් කරුණු ඉටු කර ගැනීම පමණයි. එහිදී නිලධාරීන් විදිහට තම තමන් දරන දේශපාලන මතයට බාධා කිරීමේ අදහසක් අපිට නැහැ.
කම්කරු කියන වචනයට අතීතයේදී කුමන වටිනාකමක් ලැබුණ ද වර්තමානයේදී උසස් රැකියාවන්හි නියැලී ඉන්න අය කම්කරුවන් නෙමෙයි වගේ කියන හැඟීමක් තමයි සමාජගත වෙලා තියෙන්නෙ. නමුත්, ඒක එහෙම නෙමෙයි. ඇමතිවරයා වන මමත් කම්කරුවෙක් තමයි ආර්ථිකය ඇතුළෙ ශ්‍රම බලකාය විදිහට ගත්තහම. අපි හැමෝම ශ්‍රමයේ කොටස්කරුවන්. ඒ නිසා, මානව සම්පත එක්ක ශ්‍රමය කියන එක හරියට දියුණු කරගෙන පාවිච්චි කරන්න අපට පුළුවන් උනොත් අපට අපේ රට ඉතාම ඉක්මනින් සංවර්ධනය කරගැනීමේ හැකියාව ලැබෙනව. මේ අරමුණ ඉටුකර ගැනීමේදී පෙර පැවති ආණ්ඩුවලට වඩා අපට තියෙන විශේෂම වාසිය තමයි වත්මන් ආණ්ඩුවේ අමාත්‍යාංශ අතර තියෙන සහයෝගය. ඒ නිසා අපට මේ අමාත්‍යාංශයේ දැක්ම සහ මෙහෙවර ඉටුකර ගැනීමට ඒ සහයෝගය වඩාත් පහසු වනු ඇති බවයි මගේ අදහස.”
අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව ජනතාව එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්ණ සහ ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීම කෙරෙහි තමන් වැඩි අවධානයක් යොමු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා (18) පත් කරන ලද අතර ඒ අනුව අභිනව කම්කරු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහාචාර්ය අනිල් ජයන්ත මහතා ඊයේ (19) පස්වරුවේ නාරාහේන්පිට – “මෙහෙවර පියෙස” ගොඩනැගිල්ලෙහි පිහිටි කම්කරු අමාත්‍යාංශයේදී වැඩ බාරගත්තේය.
මෙවර පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අමාත්‍ය අනිල් ජයන්ත මහතා සිය මූලික අධ්‍යාපනය ගම්පහ – දිවුලපිටිය ආඬිමුල්ල ප්‍රාථමික විදුහලෙන් ද ද්විතීයික අධ්‍යාපනය හය වෙනි පාවුළු පාප් මහා විද්‍යාලයෙන් ද හදාරා ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ විශේෂ වාණිජවේදී පළමු පන්ති සාමාර්ථයක් සහිත උපාධිධරයෙකු වන අමාත්‍ය අනිල් ජයන්ත මහතා වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිවරයෙකු මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ද වේ.
වැඩ භාරගැනීමේ අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලාල් සමරසේකර මහතා සහ කම්කරු කොමසාරිස් ජනරාල් අශෝක ජයසුන්දර මහතා ඇතුළු නිලධාරීහූ රැසක් එක්ව සිටියහ.