පුවත්

කම්කරු නීති සංශෝධනයට දකුණේ සේව්‍ය - සේවක සහ මහජන පාර්ශ්වවල අදහස් හා යෝජනා ලබාගැනේ

2026 නොවැම්බර් 23 • පුවත්

කම්කරු නීති සම්පාදනය සම්බන්ධයෙන් පිහිටුවා ඇති කමිටුව විසින් සේව්‍ය - සේවක සහ මහජන පාර්ශ්වවල අදහස් හා යෝජනා ලබාගැනීම සඳහා පළාත් මට්ටමින් සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන ඊයේ (22) පෙරවරුවේ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුන නියෝජනය කරමින් සේවායෝජක, සේවක සහ මහජන පාර්ශ්වවල නියෝජිතයන් මෙම වැඩසටහනට සහභාගි වූහ. එහිදී යෝජිත නව කම්කරු නීති සම්බන්ධයෙන් සිය අදහස්, ගැටලු සහ යෝජනා අදාළ කමිටුව වෙත ඉදිරිපත් කිරීමට ඔවුන්ට අවස්ථාව සලසා දී තිබිණි.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක කම්කරු නීති වර්තමාන ආර්ථික, සමාජීය සහ ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කරමින් නව කම්කරු නීති පද්ධතියක් හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබේ. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයන් 17 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇත. සේවක අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කිරීම, සේවායෝජකයන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගැනීම, යහපත් කාර්මික සබඳතා ගොඩනැගීම සහ ජාත්‍යන්තර ශ්‍රම ප්‍රමිතීන්ට අනුකූල නීතිමය පසුබිමක් නිර්මාණය කිරීම මෙම නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණු අතර වේ.

කම්කරු නීති සං‍ශෝධනයේදී සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගැනීමේ වැදගත්කම මත, එම පාර්ශ්වයන්ට සිය අදහස් සෘජුවම අදාළ කමිටුව වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම සඳහා මෙම පළාත් මට්ටමේ වැඩසටහන් සංවිධානය කර තිබේ. මෙම වැඩසටහනේදී කම්කරු නීති ප්‍රතිසංස්කරණයේ අවශ්‍යතාව, එහි ප්‍රතිපත්තිමය පසුබිම සහ යෝජිත නීති සංශෝධන පිළිබඳ මූලික කරුණු පැහැදිලි කිරීම සිදුකෙරිණි. අනතුරුව පැවැති විවෘත සංවාදයේදී සහභාගි වූ පාර්ශ්වකරුවන් විසින් යෝජිත නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිය ගැටලු, අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් ද පැවැත්විණි. මෙවැනි වැඩසටහන් මඟින් කම්කරු නීති සම්පාදනයේදී සේවකයන්, සේවායෝජකයන් සහ මහජනතාව අතර පුළුල් සංවාදයක් ගොඩනැගීමටත්, නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා සියලු පාර්ශ්වයන්ගේ සක්‍රීය දායකත්වය ලබාගැනීමටත් අපේක්ෂා කෙරේ.

දකුණු පළාත් වැඩසටහනෙන් අනතුරුව අනෙකුත් පළාත්වලද මෙම අදහස් හා යෝජනා ලබාගැනීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස, අතිරේක ලේකම් (පාලන) මුදිතා පත්මජායි, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද, දකුණු පළාත් භාර නියෝජ්‍ය කම්කරු කොමසාරිස් ප්‍රසංගනී පැස්කුවල්, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අහිලන් කදිරගාමර් සහ ජ්‍යේෂ්ඨ නීතිඥ ඉසුරු ලක්පුර යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.


ඡායාරූප ගැලරිය

මෑතකාලීන පළකිරීම්

ප්‍රවේශ්‍යතාව දසුන සකසන්න
අකුරු ප්‍රමාණය
වර්ණ ප්‍රකාරය
හඬ කියවීම (Text-to-Speech)