පුවත්

නව කම්කරු නීති සංශෝධනයේ දී ආබාධ සහිත තැනැත්තන්ගේ රැකියා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට යෝජනා

2026 නොවැම්බර් 17 • පුවත්

නව කම්කරු නීති සම්පාදනයේදී ආබාධ සහිත තැනැත්තන්ගේ රැකියා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම,අවස්ථා තහවුරු කිරීම සහ සේවා ස්ථානවලදී මුහුණදීමට සිදුවන බාධා හා වෙනස්කොට සැලකීම් වැළැක්වීම සඳහා නීතිමය ප්‍රතිපාදන ඇතුළත් කිරීම ඇතුළු යෝජනා රැසක් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් කම්කරු නීති සංශෝධනය සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුමත කමිටුව වෙත ඉදිරිපත් කරනු ලැබීය.

 

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් විසින් මෙම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම පසුගියදා (නොවැම්බර් 11) නාරාහේන්පිට, මෙහෙවර පියෙස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු අමාත්‍යාංශයේදී සිදුවිය.

 

එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ (UNCRPD) 27 වැනි වගන්තියෙන් පිළිගැනෙන වැඩ කිරීමේ හා රැකියා අයිතිය මෙරට කම්කරු නීති පද්ධතිය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සම්පාදනය කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.

 

විශේෂයෙන් ආබාධිතභාවය මත රැකියා ලබාදීම ප්‍රතික්ෂේප කිරීම, බඳවා ගැනීමේදී වෙනස්කොට සැලකීම, උසස්වීම් සහ වෘත්තීය පුහුණු අවස්ථා අහිමි කිරීම මෙන්ම අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීම වැළැක්වීම සඳහා පැහැදිලි නීතිමය ආරක්ෂාවක් ඇති කිරීමේ වැදගත්කම යෝජනාවලින් පෙන්වා දී තිබිණි.

 

ආබාධ සහිත සේවකයන්ට තම රාජකාරි කාර්යක්ෂමව ඉටුකිරීමට හැකිවන පරිදි සාධාරණ පහසුකම් සැලසීම (Reasonable Accommodation) සේවායෝජකයන්ගේ වගකීමක් ලෙස නීතිමය වශයෙන් පිළිගැනීම පිළිබඳව ද යෝජනා ඉදිරිපත් කෙරිණි. ඒ යටතේ සේවා ස්ථානවල ප්‍රවේශ පහසුකම් වැඩිදියුණු කිරීම, අවශ්‍ය උපකාරක තාක්ෂණය හා උපකරණ ලබාදීම, සේවා කාලය සහ රාජකාරි ක්‍රමවේද අවශ්‍යතාව අනුව සකස් කිරීම මෙන්ම තොරතුරු හා සන්නිවේදන පහසුකම් සැමට ප්‍රවේශ විය හැකි ආකාරයට සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබිණි.

 

රාජ්‍ය අංශයේ ආබාධ සහිත තැනැත්තන් සඳහා පවතින සියයට තුනක රැකියා කෝටාව ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා පුළුල් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී ඉස්මතු කෙරිණි. පෞද්ගලික අංශයේ ආබාධ සහිත තැනැත්තන්ගේ රැකියා සහභාගිත්වය ඉහළ නැංවීම සඳහා සුදුසු නීතිමය හා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව ද යෝජනා ඉදිරිපත් විය.

 

තවද, ආබාධ සහිත තැනැත්තන්ට වෘත්තීය අධ්‍යාපනය, නිපුණතා සංවර්ධනය, රැකියා පුහුණුව සහ රැකියා ගැළපීමේ සේවා සඳහා සමාන ප්‍රවේශයක් ලබාදීම, සේවා ස්ථානවල හිංසනය හා හිරිහැර වැළැක්වීම සහ ඔවුන්ට මුහුණදීමට සිදුවන අසාධාරණයන් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට හා සහන ලබාගැනීමට පහසු ක්‍රමවේද හඳුන්වාදීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.

 

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) ප්‍රමිතීන්, එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සහ ශ්‍රී ලංකාවේ පවතින නීතිමය ප්‍රතිපාදන සැලකිල්ලට ගනිමින් නව කම්කරු නීති සම්පාදනය කිරීමේදී ආබාධ සහිත තැනැත්තන්ගේ අවශ්‍යතා නිසි ලෙස නියෝජනය විය යුතු බව ද යෝජනාවලින් පෙන්වා දී තිබිණි.


ආබාධ සහිත තැනැත්තන් නියෝජනය කරන සංවිධානවල අදහස් ලබාගැනීම, නව නීති ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සහ ඒවායේ ප්‍රතිලාභ සැබෑ ලෙසම අදාළ පිරිස් වෙත ළඟාවීම තහවුරු කිරීම සඳහා සුදුසු ක්‍රමවේද ඇති කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.


මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස මහතා, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය ඇතුළු කම්කරු නීති සම්පාදනය සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුමත කමිටුවේ නිලධාරීහු ද එක්ව සිටියහ.


ඡායාරූප ගැලරිය

මෑතකාලීන පළකිරීම්

ප්‍රවේශ්‍යතාව දසුන සකසන්න
අකුරු ප්‍රමාණය
වර්ණ ප්‍රකාරය
හඬ කියවීම (Text-to-Speech)