පුවත්

ගාල්ල කම්කරු කාර්යාලයෙන් සැලසුණු සේවාවන් රැසක් දැන් අම්බලන්ගොඩින්

2026 නොවැම්බර් 13 • පුවත්

මෙතෙක් ගාල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලය වෙත ගොස් ඉටුකරගැනීමට සිදු වූ සේවක අර්ථසාධක අරමුදලට අදාළ කටයුතු ඇතුළු මහජන සේවාවන් රැසක් අම්බලන්ගොඩින්ම ලබාගැනීමට අවස්ථාව සලසමින්, අම්බලන්ගොඩ උප කම්කරු කාර්යාලය දිස්ත්‍රික් කම්කරු කාර්යාලයක තත්ත්වයට පත් කර විවෘත කිරීම ඊයේ (12) පෙරවරුවේ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

 

ආයතන 7,000ක් පමණ ආවරණය වන මෙම කාර්යාලය මඟින් ප්‍රදේශයේ සේවක සේව්‍ය දෙපාර්ශ්වයට වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැපයීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදල යටතේ ආයතන ලියාපදිංචි කිරීම, සේවක අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් බාරදීම සහ මියගිය සාමාජිකයන් වෙනුවෙන් හිමිවන ප්‍රතිලාභ ලබාගැනීමට අදාළ කටයුතු රැසක් නව දිස්ත්‍රික් කම්කරු කාර්යාලය හරහා වඩාත් පහසුවෙන් හා කඩිනමින් ඉටුකරගැනීමට හැකිවනු ඇත. එමෙන්ම, සේවක සේව්‍ය දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමට සහ ඒවා විසඳීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට ද මෙමඟින් අවස්ථාව සැලසේ. මෙතෙක් අදාළ සේවාවන් ලබාගැනීම සඳහා ගාල්ල නගරයට යාමට සිදු වූ ප්‍රදේශයේ ජනතාවට මෙමඟින් කාලය සහ ගමන් වියදම් ඉතිරිකර ගැනීමට ද හැකිවනු ඇත.

 

මෙහිදී අදහස් දැක්වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරමින් රටේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම, ආයෝජන දිරිගැන්වීම සහ කාර්මික සාමය තහවුරු කිරීම අරමුණු කරගත් නව කම්කරු නීති පද්ධතියක් හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇති බවයි.

 

නව කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයන් 17 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුමත කමිටුවක් පත්කර ඇති බවත්, සේවක අර්ථසාධක අරමුදල සඳහා නව පරිපාලන යාන්ත්‍රණයක් සකස් කිරීමට තවත් කමිටුවක් පත්කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මෙය, පවතින කම්කරු නීතිවලට සිදුකරන සීමිත සංශෝධනයක් නොව, නව කම්කරු නීති පද්ධතියක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් බව පෙන්වා දුන් ඒ මහතා, පසුගිය ඔක්තෝබර් 28 වැනිදා වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ එහි ආරම්භක කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කළ බව ද සඳහන් කළේය. එම සාකච්ඡාවලදී ඉදිරිපත් වූ සාධනීය යෝජනා සැලකිල්ලට ගැනීමට රජය සූදානම් බවත්, නව නීති පද්ධතිය තුළින් වැඩකරන ජනතාවට නව අයිතිවාසිකම් හිමිකර දීම මෙන්ම ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

 

රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමට නම් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ඒ මහතා, ඒ සඳහා සේවක සේව්‍ය දෙපාර්ශ්වය අතර සහයෝගිතාව සහ කාර්මික සාමය පවත්වාගෙන යාම ඉතා වැදගත් බව අවධාරණය කළේය.

 

පසුගිය කාලයේ රාජ්‍ය හා පෞද්ගලික අංශවල ඇති වූ කාර්මික ආරවුල් විසඳීම සඳහා කම්කරු අමාත්‍යාංශය සහ අදාළ නිලධාරීන් මැදිහත් වූ බවත්, සේවක සේව්‍ය දෙපාර්ශ්වය අතර සාකච්ඡා මඟින් ගැටලු විසඳීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවක් බවත් ඒ මහතා පැවසීය. නව කම්කරු නීති පිළිබඳ සාධාරණ විවේචන හා යෝජනා පිළිගැනීමට රජය සූදානම් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

රාජ්‍ය සේවාවන් ජනතාවට සමීප කිරීම සඳහා සේවා විමධ්‍යගත කිරීමේ වැදගත්කම ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කරන පසුබිමක රාජ්‍ය සේවාවන් නවීකරණය කිරීම සහ ඒවායේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

 

මෙම අවස්ථාවට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, අම්බලන්ගොඩ නගරාධිපති අසේල ගොඩහේවා, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද සහ අම්බලන්ගොඩ දිස්ත්‍රික් කම්කරු කොමසාරිස් ජී. ජී. හසුනිකා ඊ. ද සිල්වා යන මහත්ම මහත්මීහූ ද එක්ව සිටියහ.


ඡායාරූප ගැලරිය

මෑතකාලීන පළකිරීම්

ප්‍රවේශ්‍යතාව දසුන සකසන්න
අකුරු ප්‍රමාණය
වර්ණ ප්‍රකාරය
හඬ කියවීම (Text-to-Speech)