Select Language / භාෂාව තෝරන්න / மொழியைத் தேர்ந்தெடுக்கவும்

ඉදිරියට යාමට ඔබ කැමති භාෂාව තෝරන්න

පුවත්

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කිරීම යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණයි – නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ

2026 ඔක්තෝබර් 29 • පුවත්

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් දුර්වල කිරීම නොව, ඒවා තවදුරටත් ශක්තිමත් කරමින් වර්තමාන වැඩ ලෝකයට සහ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්ට ගැළපෙන ප්‍රගතිශීලී කම්කරු නීති පද්ධතියක් මෙරට ස්ථාපිත කිරීම යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ බව නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.

 

කම්කරු නීති සංශෝධන පිළිබඳ ක්‍රියාවලියට අදාළව පළාත් මට්ටමේ මහජන හා පාර්ශවකරුවන්ගේ අදහස් හා යොජනා වෘත්තීය සමිති නියෝජිතයන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමේ බස්නාහිර පළාත් වැඩසටහන ඊයේ (28) පෙරවරුවේ නාරාහේන්පිට - මෙහෙවර පියසේ පිහිටි කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැති අතර, එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ක්‍රියාත්මක වන මෙම නීති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ විනිවිදභාවයකින් සහ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා පත්කර ඇති සාමාජිකයන් 17 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන කමිටුව මේ වන විට අවස්ථා 40කට ආසන්න සංඛ්‍යාවක් රැස්වී පුළුල් සාකච්ඡා පවත්වා ඇති බවද පැවසීය.

 

එම කමිටුවේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් සිදුකර නොමැති බවත්, මෙම ක්‍රියාවලිය තුළ සැඟවුණු න්‍යාය පත්‍රයක් නොමැති බවත් සඳහන් කළ ඒ මහතා, වෘත්තීය සමිති සහ සේවායෝජකයන් ඇතුළු සියලු පාර්ශ්වයන්ට ලබාදී ඇත්තේ එකම නීති කෙටුම්පත බවද අවධාරණය කළේය.

 

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු ජාතික කම්කරු උපදේශක සභාව අවස්ථා 11කට වැඩි සංඛ්‍යාවක් කැඳවා ඇති බවත්, යෝජිත නීති කෙටුම්පතේ සකස් කර අවසන් වූ කොටස් අගෝස්තු 7 වැනිදා ජාතික කම්කරු උපදේශක (NLAC) සභාවට ඉදිරිපත් කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

“අපට අවශ්‍ය වන්නේ සේවකයන්ගේ අයිතිවාසිකම් දුර්වල කිරීම නොව ඒවා තවදුරටත් ශක්තිමත් කිරීමයි. දැනට පවතින නීතිවලට වඩා ප්‍රගතිශීලී කරුණු රැසක් මෙම කෙටුම්පතට ඇතුළත් කර තිබෙනවා. එසේ වුවත් තවදුරටත් සංශෝධනය කළ යුතු කරුණු තිබේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අප සූදානම්. සේවකයන්ගේ මෙන්ම සේවායෝජකයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් රටට වඩාත් සුදුසු කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම අපගේ අපේක්ෂාවයි” යනුවෙන්ද ඒ මහතා පැවසීය.

 

මෙම නීති ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවක් මත කඩිනමින් සිදුකරන බවට ඇතැම් පාර්ශ්ව ඉදිරිපත් කරන අදහස් ප්‍රතික්ෂේප කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එවැනි කොන්දේසියක් මත මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බවද පැවසීය. යෝජිත නීති කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් අදහස් හා යෝජනා ඇත්නම් නොවැම්බර් 30 වැනිදාට පෙර

 

ලිඛිතව ඉදිරිපත් කරන ලෙස වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටි ඒ මහතා, සියලු පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් වැඩකරන ජනතාවට වඩාත් යහපත් අනාගතයක් ගොඩනැඟීම රජයේ අපේක්ෂාව බවද සඳහන් කළේය.

 

මෙම අවස්ථාවට එක්වූ කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස මහතා පැවසුවේ, යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. ශ්‍රම ප්‍රමිතීන් සහ සමාජ ආරක්ෂණය, වෘත්තීය සෞඛ්‍යය සහ ආරක්ෂාව, කාර්මික ආරවුල් නිරවුල් කිරීම සහ කාර්මික සම්බන්ධතා මෙන්ම වෘත්තීය සමිති අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ක්‍රියාකාරකම් විධිමත් කිරීම එම ක්ෂේත්‍ර හතර වේ.

 

සියලු වැඩකරන ජනතාව සඳහා පොදු කම්කරු ප්‍රමිතීන් හඳුන්වාදීම, ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න සේවා පරිසරයක් තහවුරු කිරීම, කාර්මික ආරවුල් කඩිනමින් නිරවුල් කිරීම සහ කම්කරු නීති උල්ලංඝනය වන අවස්ථාවලදී සෘජුව මැදිහත් වීමට රාජ්‍ය අංශයේ නීතිමය හා ආයතනික හැකියාව ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙළේ වැදගත් අරමුණු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

 

මෙම වැඩසටහනේදී අවධානය යොමු කෙරුණේ යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ශ්‍රම ප්‍රමිතීන් සහ සමාජ ආරක්ෂණ කොටස පිළිබඳ පමණක් වන අතර ඒ අනුව මෙම කෙටුම්පත තුළ සේවකයන් බඳවා ගැනීමේදී සමාන අවස්ථා තහවුරු කිරීම, සේවකයන්ගේ මුල් අධ්‍යාපන සහ පෞද්ගලික සහතික සේවායෝජකයන් භාරයේ රඳවා තබාගැනීම වැළැක්වීම, සේවකයාට තේරුම් ගත හැකි භාෂාවකින් ලිඛිත සේවා ගිවිසුමක් ලබාදීම සහ ස්ථිර, තාවකාලික, ඍතුමය හා අර්ධකාලීන සේවා ගිවිසුම් විධිමත් කිරීම ඇතුළු ප්‍රතිපාදන රැසක් යෝජනා කර තිබේ.

 

අර්ධකාලීන සේවකයන්ටද සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ඇතුළු ව්‍යවස්ථාපිත හිමිකම් තහවුරු කිරීම, සතිපතා දින එකහමාරක නිවාඩු හිමිකම විධිමත් කිරීම, වාර්ෂික නිවාඩු දින 14ක් මෙන්ම වැටුප් සහිත අසනීප හා පෞද්ගලික නිවාඩු හිමිකම් නියම කිරීමද යෝජිත විධිවිධාන අතරට ඇතුළත් වේ.

 

එමෙන්ම මාතෘ ආරක්ෂණය සහ දෙමාපිය අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා සජීවී දරු උපතකදී වැටුප් සහිත වැඩකරන දින 84ක මාතෘ නිවාඩු හිමිකමක්, පියවරුන් සඳහා වැටුප් සහිත දින පහක පීතෘ නිවාඩු හිමිකමක් සහ දරුකමට හදාගැනීමේදී නිවාඩු ලබාදීම පිළිබඳවද යෝජනා ඉදිරිපත් කර තිබේ. ගර්භණීභාවය හෝ දරු ප්‍රසූතිය හේතුවෙන් සේවයෙන් ඉවත් කිරීම වැළැක්වීම සහ මාතෘ නිවාඩුවෙන් පසු සේවයට නැවත පැමිණීමේදී රැකියා සුරක්ෂිතතාව තහවුරු කිරීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කර ඇත.

 

වැඩ ලෝකය තුළ හිංසනය සහ හිරිහැර වැළැක්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C190 සම්මුතියේ ප්‍රමිතීන්ට අනුකූල නීතිමය විධිවිධාන හඳුන්වාදීමද මෙම ප්‍රතිසංස්කරණවල තවත් වැදගත් අංගයකි. ඒ අනුව ශාරීරික, මානසික, ලිංගික සහ ආර්ථික හානි සිදුකරන හිංසනය හා හිරිහැර වැළැක්වීම, සේවා ස්ථානවලට අමතරව රාජකාරියට අදාළ ගමන් බිමන්, සේවායෝජකයා සපයන ප්‍රවාහන හා නවාතැන් පහසුකම් මෙන්ම විද්‍යුත් තැපෑල සහ ඩිජිටල් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ සිදුවන හිරිහැරද නීතිමය ආරක්ෂණයට ඇතුළත් කිරීමට යෝජනා කර තිබේ. සේවකයන් 15 දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවය කරන ආයතනවල හිංසනය සහ හිරිහැර වැළැක්වීම සඳහා ලිඛිත ප්‍රතිපත්තියක් සහ අභ්‍යන්තර පැමිණිලි විමර්ශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීම, වින්දිතයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සහ පැමිණිලි ඉදිරිපත් කිරීම හේතුවෙන් පළිගැනීම් සිදුකිරීම වැළැක්වීම සඳහාද විධිවිධාන යෝජනා කර ඇත. අභ්‍යන්තර ක්‍රියාපටිපාටිය මගින් සාධාරණ

 

විසඳුමක් නොලැබෙන අවස්ථාවලදී කම්කරු විනිශ්චය සභා හමුවේ සහන ලබාගැනීම, නැවත සේවයේ පිහිටුවීම, ආරක්ෂක නියෝග නිකුත් කිරීම සහ මූල්‍ය වන්දි ලබාදීම වැනි පිළියම්ද යෝජිත නීතිමය රාමුවට ඇතුළත් වේ.

 

මෙම සියලු විධිවිධාන තවමත් යෝජිත පනත් කෙටුම්පත්වල අන්තර්ගත කරුණු වන අතර, වෘත්තීය සමිති, සේවායෝජකයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ අදහස් හා යෝජනා අනුව ඒවා තවදුරටත් සංශෝධනය කිරීමට නියමිතය.

 

මෙම වැඩසටහනට සහභාගි වූ වෘත්තීය සමිති නියෝජිතයන් විසින් යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලද අතර, එම යෝජනා පිළිබඳව පුළුල් සාකච්ඡාවක්ද පැවැත්විණි. යෝජිත කෙටුම්පත දැන් ඕනෑම අයෙකුට www.labourmin.gov.lk වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකිය.

 

මෙම අවස්ථාවට වෘත්තීය සමිති නියෝජනය කරමින් වෘත්තීය සමිති 116ක නියෝජිතයන් ද, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය ඇතුළු කම්කරු අමාත්‍යාංශයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ.


ඡායාරූප ගැලරිය

මෑතකාලීන පළකිරීම්

ප්‍රවේශ්‍යතාව දසුන සකසන්න
අකුරු ප්‍රමාණය
වර්ණ ප්‍රකාරය
හඬ කියවීම (Text-to-Speech)