Select Language / භාෂාව තෝරන්න / மொழியைத் தேர்ந்தெடுக்கவும்

ඉදිරියට යාමට ඔබ කැමති භාෂාව තෝරන්න

පුවත්

රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරු ජනතාවගේ නොගෙවූ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට පියවර: සේවකයින් 10,000 කට වැඩි පිරිසකට සහන

2026 සැප්තැම්බර් 16 • පුවත්

වසර 25කට වැඩි කාලයක් පුරා රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරු ජනතාවගේ නොගෙවූ ව්‍යවස්ථාපිත මුදල් ගෙවීමට පියවර ගෙන ඇති අතර සේවකයින් 10,000 කට වැඩි පිරිසකට සහන ලබාදීම පසුගියදා මහනුවරදී ආරම්භ කෙරිණි.

 

ඒ අනුව,පළමු අදියර ලෙස මහනුවර උතුර, මහනුවර දකුණ, මාතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාල සහ ගම්පල, නාවලපිටිය උප දිස්ත්‍රීක් කම්කරු කාර්යාල බල ප්‍රදේශවල පිහිටි වතුවල සේවකයින් 308 දෙනෙකු සඳහා රුපියල් මිලියන 79කට අධික හිඟ පාරිතෝෂික මුදල් ලබා දීම කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම් පියතිස්ස සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් 2026.09.10 වැනිදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

 

ඉතිරි අදාල සේවකයින් සඳහා වන පාරිතෝෂික, හිඟ සේවක අර්ථසාධක අරමුදල් (EPF) සහ සේවක භාරකාර අරමුදල් (ETF) ගෙවීමට අවශ්‍ය කටයුතු ද කම්කරු දෙපාර්තමේන්තුව මගින් දැනටමත් සිදු කරමින් පවතී.

 

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව, කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් අර්ධ රාජ්‍ය ආයතන 10ක සේවකයින්ගේ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඊට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසිනි. 

වෙන් කරන ලද මුදලින් රුපියල් මිලියන 4,500කට අධික මුදලක් වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC), ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB) සහ ඇල්කඩුව වැවිලි සමාගම (EPL)යන රාජ්‍ය වැවිලි ආයතන තුනෙහි විශ්‍රාමික සහ දැනට සේවයේ නියුතු 10,000කට අධික සේවකයින් පිරිසකට හිමිවීමට නියමිතය.


ඡායාරූප ගැලරිය

මෑතකාලීන පළකිරීම්

ප්‍රවේශ්‍යතාව දසුන සකසන්න
අකුරු ප්‍රමාණය
වර්ණ ප්‍රකාරය
හඬ කියවීම (Text-to-Speech)