Skip to content
default color brick color green color
English (United Kingdom)Tamil (Sri Lanka)
ඔබ මෙතනයි:  මුල් පිටුව කම්කරු දෙපාර්තමේන්තුව
කම්කරු දෙපාර්තමේන්තුව

කම්කරු දෙපාර්තමේන්තුව ආරම්භයේ දී පිහිටුවන ලද්දේ ඉන්දියානු සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ශුභ සාධනය විමසා බැලීමට ය. එහෙයින් එය එදා හැඳින්වුනේ ඉන්දියානු සංක්‍රමණික කම්කරු දෙපාර්තමේන්තුව යනුවෙනි. 1923 අංක 1 දරන ඉන්දියානු ආගමනික කම්කරු ආඥාපනත පැනවීමෙන් ඉන්දියානු සංක්‍රමණික කම්කරු දෙපාර්තමේන්තුව පිහිටු වීම සඳහා විධිවිධාන සැලසිණි.

එහෙකුදු වුවත් ශ්‍රම බලකායේ දේශීය පිරිසේ ක්‍රමික ව්‍යාප්තියක් සමඟ ශ්‍රමික පිරිස පිළිගත යුතු බලවේගයක් බවට පත්විය. මේ හේතුව නිසා, ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන්ගේ ශුභ සාධනය සොයා බැලීමේ ස්වකීය සීමාසහිත විෂය පථයෙන් ඔබ්බට යාමට යටත් විජිත පාලකයන්ට සිදු විය. මේ අනුව සියලු සේවකයන්ගේ ශුභසාධනය සහ අර්ථ සිද්ධිය සඳහා පියවරවල් ගැනීමට ඔවුනට සිදු විය. ඒ අනුව 1931 දී ඉන්දියානු සංක්‍රමණික කම්කරු දෙපාර්තමේන්තුව මහජන කම්කරු දෙපාර්තමේන්තුව යනුවෙන් වෙනස් විය. ඉන්පසු එය ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන්ගේ මෙන්ම මෙරට කම්කරුවන්ගේත් ශුභසාධනය ගැන වග කියන රාජ්‍ය ආයතනය බවට පත්විය. ආරම්භයේදී දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ පදවි නාමය කම්කරු පාලක යන්නයි. එහෙත් 1944 දී එම පදවි නාමය කම්කරු කොමසාරිස් යනුවෙන් වෙනස් වූ අතර 2000 දී එය කම්කරු කොමසාරිස් ජනරාල් බවට පත් විය.

අවුරුදු අසූ පහකටත් අධික කාලයක් තුළ කම්කරුවන්ගේ ආරක්ෂාව සහ ශුභසාධනය සඳහා නීති හතළිහකට අධික සංඛ්‍යාවක් පුළුල් කාර්යපථයක් ආවරණය වන පරිදි පනවා ඇත. මෙම නීති ක්‍රියාත්මක කිරීම මෙම දෙපාර්තමේන්තුවේ මූලික කාර්යය වී තිබේ. මීට අතිරේකව, සමාජ සංවර්ධනය සහ වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලන සේවක අධ්‍යාපනය, මානව සම්පත් ස්ථානපනය කිරීම, ශ්‍රම වෙළඳ පොළ තොරතුරු, සමාජ සංකථනය සහ ඒවා සමීක්ෂණය කිරීම ආදී ක්‍රියාකාරකම් වල මෙම දෙපාර්තමේන්තුව නිරතව සිටී. කාලයක් තිස්සේ ඉස්මතු වෙමින් එන විවිධ සේවා අවශ්‍යතා ඉටු කිරීම පිණිස දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය අනුක්‍රමයෙන් වැඩි වී තිබේ. දැනට කාර්යමණ්ඩලයේ සංඛ්‍යාව එක් දහස ඉක්මවා ඇත. විවිධ කාර්යයන් පැවරී ඇති පරිපාලන සංවිධානය ප්‍රධාන කාර්යාල මට්ටමේ අංශ 17කින් සමන්විත වෙයි. ප්‍රාදේශීය මට්ටමින් අදාළ කටයුතු ඉටු කිරීම සඳහා කලාපීය නියෝජ්‍ය කොමසාරිස් කාර්යාල 11කින් ද දිස්ත්‍රික් කම්කරු කාර්යාල 39 කින් ද කම්කරු උපකාර්යාල 17කින් ද දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාල 10 කින් ද  සමන්විත ප්‍රාදේශීය කාර්යාල ජාලයක් ද පවතී.

දෙපාර්තමේන්තුව විසින් ඉටු කරනු ලබන ප්‍රධාන කටයුතු පහත දැක්වේ.

  • කම්කරු නීති බලාත්මක කිරිම සහ කම්කරු ආරවුල් නිරාකරණය කිරීම.
  • සමාජ ආරක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කිරීම.
  • වෘත්තීමය ස්වස්ථතාව සහ කාර්මික හදිසි අනතුරු වැළැක්වීමේ කටයුතු සමීක්ෂණය කිරීම.
  • සේව්‍ය - සේවක සම්බන්ධතා වැඩි දියුණු කිරීමේ අදහසින් පුද්ගලයන් සේවයේ යෙදවීම නියාමනය කිරීම, කම්කරු ක්ෂේත්‍රයේ පර්යේෂණ සහ සැලසුම් කටයුතු භාරව ක්‍රියා කිරීම.
  • ශ්‍රම වෙළඳ පොළේ තොරතුරු සේවය
  • කම්කරු සංඛ්‍යාලේඛන එක්රැස් කිරීම, සංස්කරණය කිරීම සහ බෙදා හැරීම.
  • වෘත්තීය සංගම් ලියාපදිංචි කිරීම.
  • ජා.ක.සං. යේ සාමාජිකයකු වශයෙන් ශ්‍රී ලංකාවේ බැඳීම් සපුරාලීමේදී කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සමඟ සමීප සම්බන්ධතාවකින් ක්‍රියා කිරීම.

නිල වෙබ් අඩවිය :

කම්කරු දෙපාර්තමේන්තුව

<< ආපසු